අප්‍රේල් 04 වැනිදා සිට 10 වැනිදා දක්වා වූ පසුගිය සතියක කාලය තුළ පමණක් මෙරට රිය අනතුරුවලින් පුද්ගල මරණ 49ක් වාර්තා වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සිදුවූ මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයකට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම බවයි.
අප්‍රේල් මස උත්සව සමය තුළ මාර්ග අනතුරු ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් මෙන්ම අනතුරුදායක ලෙස රිය පදවන්නන් පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන ලෙස ඔහු ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම, එවැනි අපරික්ෂාකාරී රියදුරන් පිළිබඳව පොලීසිය විසින් හඳුන්වා දී ඇති 070 47 55 600 යන වට්ස්ඇප් අංකය ඔස්සේ තොරතුරු ලබා දී සහාය වන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන් නිසා අහිංසක ජීවිත බිලිවීමට ඉඩ දිය නොහැකි බවත් බිමල් රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














