අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස ඉරානය සමඟ පැවැති සාකච්ඡා වටයෙන් අනතුරුව පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරින් යළි නික්ම ගොස් තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් ‘Air Force 2’ නිල ගුවන් යානය වොෂින්ටනය බලා පිටත්ව ගිය බව විදේශීය මාධ්‍ය වාර්තා තහවුරු කරයි.
පැය 14කට අධික කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡා වටය කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් වී ඇති අතර, අමෙරිකාව ඉදිරිපත් කළ අවසාන සාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇත. තමන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ටෙහෙරානයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡා බිඳ වැටීමත් සමඟ මැදපෙරදිග කලාපීය සාමය පිළිබඳ පැවති බලාපොරොත්තු තවදුරටත් අවිනිශ්චිත වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින දැඩි මතභේදාත්මක තත්ත්වය කලාපීය ස්ථාවරත්වයට තවදුරටත් තර්ජනයක් වී ඇත.














