සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විකෘති කරන ලද පුවත් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් මෙන්ම පොඩ්කාස්ට්කරුවන්ට (Podcasters) එරෙහිව සිය නීති රාමුව දැඩි කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධන යෝජනාවලට අනුව, මින් ඉදිරියට Facebook, YouTube සහ X වැනි වේදිකාවල ‘ප්‍රවෘත්ති සහ කාලීන කටයුතු’ බෙදාගන්නා සාමාන්‍ය පරිශීලකයින් ද ලියාපදිංචි ප්‍රවෘත්ති ආයතනවලට අදාළ වන ‘ආචාර ධර්ම සංග්‍රහයට’ යටත් වනු ඇත.
මෙම නව සංශෝධන හරහා ස්වාධීන මාධ්‍යවේදීන්, පොඩ්කාස්ට්කරුවන් සහ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයින් පළ කරන පුවත් ආශ්‍රිත අන්තර්ගතයන් පාලනය කිරීමට රජයට වැඩි බලයක් හිමිවන බව විශේෂඥයෝ පෙන්වා දෙති. රජයේ නියෝග සහ මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය නොකරන සමාජ මාධ්‍ය වේදිකාවලට, පරිශීලකයින් පළ කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් පවතින නීතිමය ආරක්ෂාව අහිමි විය හැකි බවට ද රජය අනතුරු අඟවා තිබේ. ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ සහ අසත්‍ය තොරතුරු මැඩපැවැත්වීම මෙම පියවරෙහි අරමුණ බව රජය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම යෝජිත නීති සංශෝධන සම්බන්ධයෙන් ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ස්වාධීන පුවත් නිර්මාණකරුවන් සිය විරෝධය පළ කර ඇත. ඔවුන් පවසන්නේ මෙය සමාජ මාධ්‍ය වේදිකාවල දැඩි වාරණයකට මඟ පාදන බවත්, රජය විවේචනය කරන පිරිස් ඉලක්ක කර ගනිමින් විසම්මුතිය මැඩපැවැත්වීමට මෙම නීති අනිසි ලෙස භාවිතා කළ හැකි බවත්ය. මෙම මතභේදාත්මක නීති සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අප්‍රේල් 14 වනදා දක්වා සිදු කිරීමට නියමිතය.














