වාරියපොල – කටුපොත මාර්ගයේ නෙළුම් කණුව ප්‍රදේශයේ පිහිටි කොළමුණුඔය පාලමෙන් ලොරි රථයක් අද (12) අලුයම පෙරළී යාමෙන් එහි ගමන් කළ රියදුරු සහ සහයකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. කටුපොත පොලිසිය සඳහන් කළේ මීරිගම, පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි 63 සහ 42 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.
මෙම ලොරි රථය ආණමඩුව ප්‍රදේශයේ සිට ගඩොල් පටවාගෙන මීරිගම බලා ධාවනය වෙමින් තිබියදී පාලමෙන් පහළට පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හෝ රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. මියගිය දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














