පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද යන්න පිළිබඳ තීන්දුව මැයි මස 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ. පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම්, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලන ලදී.
නඩු විභාගය අතරතුර කරුණු දැක්වූ සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ, මෙම පත්වීම් 2020 වසරේ සකස් කළ සහ රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත කරන ලද ක්‍රමවේදයකට අනුව සිදු කර ඇති බවයි. රාජ්‍ය සේවා කොමිසමේ තීරණ පිළිබඳ සලකා බැලීමට අභියාචනාධිකරණයට නීතිමය බලයක් නොමැති බවත්, අදාළ වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුවෙන් පසු පත්වීම් ලබන්නේ පළමු වතාවට බැවින් මෙය ස්ථාන මාරුවක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
වගඋත්තරකාර පාර්ශවය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ, මේ වන විටත් පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් සියයට හැත්තෑ පහක් පමණ සේවා ස්ථානවලට වාර්තා කර ඇති බවයි. මෙම පත්වීම් ක්‍රියාවලියට මැදිහත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිතිවලට නීතිමය අයිතියක් නොමැති බවද රජයේ පාර්ශවයෙන් මෙහිදී තර්ක කරන ලදී.













