තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය, වැඩ තහනමට ලක්වූ සහ සේවය හැර ගිය නිලධාරීන් පිරිසක් ලබාගත් රුපියල් කෝටි හයකට අධික ණය මුදලක් නැවත ගෙවීම පැහැර හැර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) අනාවරණය වී තිබේ. මෙම මුළු ණය මුදලින් රුපියල් දෙකෝටියකට අධික ප්‍රමාණයක් වසර පහකට වඩා පැරණි හිඟ ණය බව කමිටුව පෙන්වා දෙයි.
මෙම මුදල් අයකර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර පිළිබඳව එහි නිලධාරීන් කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, ණය ගෙවීම පැහැර හැර ඇති හිටපු නිලධාරීන් 17 දෙනෙකු වෙත මේ වන විටත් එන්තරවාසි යොමු කර ඇති බවයි. රජයේ මුදල් අයකර ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව මෙහිදී බලධාරීන්ට දැඩිව අවධාරණය කළේය.
හිඟ ණය මුදල් අයකර ගන්නා ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටුව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර තිබේ. මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.














