ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී 24 හැවිරිදි ඇලෙහ් හොසේන්-නෙජාඩ් නමැති තරුණියක කුරිරු ලෙස ඝාතනය කිරීමේ පුවත මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඉස්ලාමීය හිජාබ් නීති නිසි පරිදි අනුගමනය නොකිරීම හේතුවෙන් ඇය මෙලෙස ඝාතනයට ලක්වන්නට ඇති බවට සැක කෙරෙන අතර එමඟින් ඉරාන වැසියන් අතර දැඩි විරෝධයක් සහ ආන්දෝලනයක් හටගෙන ඇත. පසුගිය මැයි 25 වනදා අතුරුදහන් වූ මෙම තරුණියගේ සිරුර දින 10කට පසුව ඉමාම් කොමේනි ගුවන් තොටුපොළ ආසන්නයේ කාන්තාර ප්‍රදේශයක තිබී හමු වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ඇය පපුවට එල්ල වූ මාරක පිහි පහරකින් මියගොස් තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් ‘ස්නැප්’ කුලී රථ සේවාවේ රියදුරෙකු වන 32 හැවිරිදි බහ්මන් ෆර්සානේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පාලක රෙජීමයේ දැඩි හිතවාදියෙකු බවත් ඉරාන උත්තරීතර නායකයා කෙරෙහි දැඩි භක්තියකින් පසුවන අයෙකු බවත් සමාජ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු තරුණිය ඇඳ සිටි ඇඳුම් විලාසය “නින්දිත” බව පවසා ඇති අතර ඇයගේ පව් සඳහා තමාට වන්දි ගෙවීමට සිදුව ඇති බව ප්‍රකාශ කර තිබේ. ඇය තමාට අපහාසාත්මක ලෙස කතා කළ බවත් එම කෝපය පාලනය කරගත නොහැකිව ඇයට පිහියෙන් ඇන මරා දැමූ බවත් ඔහු පිළිගෙන ඇත.
මූලික විමර්ශන වලදී බලධාරීන් මෙය කොල්ලකෑමක් බව පෙන්වා දීමට උත්සාහ කළද ඝාතකයා ඇයගේ වටිනා ජංගම දුරකථනය ඉවත දමා තිබීමත් ඇය පැළඳ සිටි රන් ආභරණ සිරුර මතම ඉතිරිව තිබීමත් හේතුවෙන් එම තර්කය බැහැර වී තිබේ. මෙය දෘෂ්ටිමය මතවාදයක් මත පදනම් වූ ඝාතනයක් බවට බොහෝ දෙනා සැක කරන අතර සිරුර බෙහෙවින් නරක් වී තිබීම හේතුවෙන් ඇය ලිංගික අතවරයකට ලක්ව ඇත්දැයි යන්න නිශ්චිතව තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට නොහැකි වී ඇත. මෙම බිහිසුණු සිදුවීම ඉරානය තුළ කාන්තා අයිතිවාසිකම් සහ දැඩි ආගමික නීති ක්‍රියාත්මක වීම පිළිබඳව ලෝක ප්‍රජාව අතර නැවතත් ප්‍රබල කතිකාවතක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.














