මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (12) පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත වී තිබේ. පස්වරු 3.00 සිට පැයකට ආසන්න කාලයක් ඇද හැළුණු මෙම වර්ෂාවත් සමඟ මාස තුනකට ආසන්න කාලයක් ප්‍රදේශයේ පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය අවසන් වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම කාසල්රි, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ යන ජල පෝෂක ප්‍රදේශවලට මෙම වර්ෂාපතනය ලැබී ඇති අතර, වියළි කාලගුණය හේතුවෙන් ජල මට්ටම පහත බැස තිබූ ජලාශවලට සහ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳි ජනතාවට මෙය විශාල සහනයක් වනු ඇත.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඉදිරි පැය 36 සඳහා වන අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














