පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන යුද නෞකාවන් ද්විපාර්ශ්වික සුහද සංචාරයක් සඳහා අද (12) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව මෙම නෞකා යුගළ පිළිගනු ලැබීය.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නයිමට් සයීද් ඛාන් කටයුතු කරන අතර, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි කටයුතු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. මෙම සංචාරය අතරතුර දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් විශේෂ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිතව ඇත. කලාපීය ආරක්ෂාව සහ මිත්‍රත්වය තහවුරු කෙරෙන මෙවැනි සංචාරයන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන සබඳතාවල තවත් එක් වැදගත් පියවරකි.














