ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු සහ ඔවුන් පැමිණි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. යාපනය, කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.
උතුරු නාවික විධානය විසින් අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය යාත්‍රා පලවා හැරීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී, දිගින් දිගටම මෙරට සීමාවේ රැඳී සිටි මෙම යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇත. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කන්කසන්තුරෙයි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.














