Anthropic සමාගම විසින් හඳුන්වා දුන් නවතම කෘතිම බුද්ධි මාදිලිය මගින් මූල්‍ය පද්ධතිවලට එල්ල විය හැකි සයිබර් අවදානම් පිළිබඳව බ්‍රිතාන්‍ය නියාමන ආයතන රජයේ සයිබර් ආරක්ෂණ ආයතන සහ ප්‍රධාන බැංකු සමඟ හදිසි සාකච්ඡා ආරම්භ කර ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් (FT) පුවත්පත වාර්තා කරයි. එංගලන්ත බැංකුව (BoE) මූල්‍ය චර්යා අධිකාරිය (FCA) සහ මහා භාණ්ඩාගාරය එක්ව මෙම නව AI මාදිලිය හරහා තීරණාත්මක තොරතුරු තාක්ෂණ පද්ධතිවලට ඇති විය හැකි බලපෑම් පිළිබඳව විමර්ශනය කරමින් සිටී.
‘Claude Mythos Preview’ ලෙස හඳුන්වන මෙම නවතම AI මාදිලිය ‘Project Glasswing’ නම් ව්‍යාපෘතිය යටතේ සීමිත ආයතන ප්‍රමාණයකට පමණක් පරීක්ෂණ මට්ටමින් ලබා දී ඇත. Anthropic සමාගම පවසන්නේ මෙම මාදිලිය මගින් දැනට පවතින මෙහෙයුම් පද්ධති සහ වෙබ් බ්‍රවුසරවල සයිබර් අනාරක්ෂිත ස්ථාන දහස් ගණනක් හඳුනාගෙන ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රධාන බ්‍රිතාන්‍ය බැංකු සහ රක්ෂණ සමාගම් ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳව දැනුවත් කිරීමට නියාමකයින් සූදානම් වේ.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ද වෝල් ස්ට්‍රීට් බැංකු සමඟ මෙම AI මාදිලියේ ඇති සයිබර් අවදානම පිළිබඳව සාකච්ඡා කර ඇති බව මීට පෙර වාර්තා විය. තාක්ෂණය දියුණු වීමත් සමඟ මූල්‍ය පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි පරීක්ෂණ අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති. Anthropic සමාගම මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය කළ විමසීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.














