ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ යන බලශක්ති මිල සහ පොලී අනුපාත ඉහළ යාමේ බිය නිසා බ්‍රිතාන්‍යයේ දැවැන්ත සමාගම්වල පවතින ව්‍යාපාරික විශ්වාසය කොවිඩ් වසංගත සමයෙන් පසු වාර්තා වූ අවම මට්ටමට ඇද වැටී ඇති බව ඩෙලොයිට් (Deloitte) ආයතනය පවසයි. ප්‍රධාන මූල්‍ය නිලධාරීන් (CFOs) අතර පවත්වන ලද මෙම කාර්තුමය සමීක්ෂණයට අනුව 2025 වසර අගභාගයේදී -13% ක්ව පැවති විශ්වාසය මාර්තු මස අවසන් වන විට -57% දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
මෙම තත්ත්වය හමුවේ බොහෝ සමාගම් නව සේවකයන් බඳවා ගැනීම සීමා කිරීමට සහ ආයෝජන කපා හැරීමට තීරණය කර ඇති අතර පිරිවැය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. උද්ධමනය මේ වසරේදී 4.8% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඩෙලොයිට් ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඉයන් ස්ටුවර්ට් පවසන්නේ පසුගිය වසර 16 තුළ බ්‍රිතාන්‍ය මූල්‍ය නිලධාරීන් මෙතරම් දැඩි ලෙස පිරිවැය පාලනය කෙරෙහි අවධානය යොමු කළ වෙනත් අවස්ථාවක් නොමැති තරම් බවයි.
පිරිවැය පීඩනය ශීඝ්‍රයෙන් වැඩි වීම නිසා මාර්තු මාසයේදී පෞද්ගලික අංශයේ වර්ධනය ද බෙහෙවින් මන්දගාමී වී ඇත. ඉදිරි වසරක කාලය තුළ සේවකයන් බඳවා ගැනීම් පහත වැටෙනු ඇතැයි 79% ක් පමණ මූල්‍ය නිලධාරීන් අපේක්ෂා කරති. කෙසේ වෙතත් බඳවා ගැනීමේ ආයතන පවසන්නේ යුද වාතාවරණය බාධාවක් වුවද ශ්‍රම වෙළඳපොළ යම් මට්ටමක ස්ථාවරත්වයක් පෙන්වන බවයි. මෙම සමීක්ෂණය සඳහා බ්‍රිතාන්‍යයේ FTSE 100 සහ FTSE 250 දර්ශකවලට අයත් ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහභාගී වී ඇත.














