උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයින් සුරක්ෂිත කිරීම සඳහා ආරම්භ කළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් වැටලීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම, නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ විවිධ අයුරින් පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කරන වෙළෙඳුන් සොයා මෙම වැටලීම් සිදු කෙරේ. වෙළෙඳපොළ තුළදී තමන් යම් අසාධාරණයකට ලක්වන්නේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 1977 යන කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇත.
ඕනෑම පාරිභෝගිකයෙකුට කාර්යාල වේලාවන් තුළ මෙම අංකය අමතා තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව එම අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා අවධාරණය කරයි.














