හංගේරියාවේ වසර 16 ක පාලනය අවසන් කරමින් අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orban) ලැබූ පරාජය ඇමරිකානු ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු වන ඕර්බන්ගේ මෙම පරාජය එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු අතුරු මැතිවරණය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට සහ ඔහුගේ “MAGA” ආධාරකරුවන්ට ලබා දුන් අනතුරු ඇඟවීමක් ලෙස ඩිමොක්‍රටික් නායකයෝ හඳුන්වති. යුරෝපා සංගමයට හිතැති මධ්‍ය දක්ෂිණාංශික අපේක්ෂක පීටර් මැග්යාර් (Peter Magyar) මෙවර මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
සෙනෙට් සභාවේ සුළුතර කණ්ඩායම් නායක චක් ෂූමර් පවසා ඇත්තේ ඒකාධිපති පාලකයන්ට ජනතාව සැමදා ඉඩ නොදෙන බවයි. මේ අතර රිපබ්ලිකන් පාක්ෂිකයන් කිහිප දෙනෙකු ද පවසා ඇත්තේ හංගේරියානු ජනතාව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ බලපෑම මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ හිතවතෙකු වන ඊලෝන් මස්ක් (Elon Musk) මෙම ප්‍රතිඵලය ගැන කනස්සල්ල පළ කර ඇති අතර හංගේරියාව දැන් ජෝර්ජ් සෝරෝස්ගේ (George Soros) සංවිධාන විසින් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කර තිබේ.
වික්ටර් ඕර්බන් යනු ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට සමාන ආගමන විගමන පාලනය සහ ගෝලීය ආයතන විවේචනය කිරීම වැනි දැඩි මතධාරී ප්‍රතිපත්ති අනුගමනය කළ නායකයෙකි. ට්‍රම්ප් පසුගිය සතියේ ද ඕර්බන් වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවලට සහභාගී වූ අතර ඔහු ජයග්‍රහණය කළහොත් හංගේරියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහාය දෙන බවට ද පොරොන්දු වී තිබුණි. මෙම මැතිවරණ පෙරළිය යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ ද ඉදිරි දේශපාලන ගමන් මගට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති.














