තායිවාන ජනාධිපති ලායි චිං-ටේ (Lai Ching-te) ලබන සතියේ එස්වාටිනි රාජ්‍යයේ (Eswatini) සංචාරයක නිරත වන බව ජනාධිපති කාර්යාලය අද (13) නිවේදනය කළේය. එස්වාටිනි රාජ්‍යය යනු දැනට අප්‍රිකානු මහාද්වීපය තුළ තායිවානය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන අවසන් රටයි. චීනය විසින් තායිවානය තමන්ගේම කොටසක් ලෙස හඳුන්වමින් ලෝකයේ බොහෝ රටවල් තායිවානය සමඟ පවත්වන සබඳතා බිඳ දැමීමට කටයුතු කර ඇති පසුබිමක තායිවානය සමඟ දැනට නිල සබඳතා පවතින්නේ රටවල් 12 ක් සමඟ පමණි.
මෙම සංචාරය අප්‍රේල් 22 සිට 26 දක්වා පැවැත්වෙන අතර එය තුන්වන එම්ස්වාටි (Mswati III) රජුගේ පදවි ප්‍රාප්තියේ 40 වන සංවත්සරය සහ 58 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කර ඇත. මීට පෙර තායිවාන ජනාධිපතිවරයෙකු එස්වාටිනි රාජ්‍යයේ සංචාරය කළේ 2023 වසරේදීය. දකුණු අප්‍රිකාවෙන් වටවී ඇති කුඩා රාජ්‍යයක් වන එස්වාටිනි වෙත තායිවානය දිගු කලක සිට විවිධ ආර්ථික සහ වෛද්‍ය ආධාර සපයනු ලබයි.
මෙම සංචාරය ජනාධිපති ලායි විසින් 2024 නොවැම්බර් මාසයෙන් පසුව සිදු කරන පළමු විදෙස් සංචාරය ද වෙයි. විශේෂත්වය වන්නේ මෙම ගමන සඳහා ඇමරිකාව හරහා ගමන් කිරීමට අවශ්‍ය නොවීමයි. සාමාන්‍යයෙන් තායිවාන නායකයින් ඇමරිකාව හරහා වෙනත් රටවලට යන විට චීනය සිය දැඩි විරෝධය පළ කරන නමුත් මෙවර ජනාධිපති ලායි සෘජුවම එස්වාටිනි බලා පියාසර කිරීමට නියමිතය.














