දකුණු කොරියානු මහ බැංකුවේ (Bank of Korea) අධිපති ධුරය සඳහා නිර්දේශ වී සිටින ෂින් හ්යුන්-සොං මහතා පවසන්නේ කොරියානු වොන් (Won) මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අධික ලෙස පහත වැටුණහොත් ඒ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවයි. ලබන බදාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ස්ථිර කිරීමේ විභාගයට පෙර ඔහු අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශයක මේ බව සඳහන් වේ.
මධ්‍ය පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් අනෙකුත් මුදල් ඒකකවලට වඩා වොන් අගය වේගයෙන් පහත වැටී ඇති අතර අද දින ඇමරිකා ඉරාන සාම සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ වොන් අගය 1.1% කින් තවදුරටත් පහත වැටී ඩොලරයට සාපේක්ෂව 1,499.7 ක් දක්වා දුර්වල විය. කෙසේ වෙතත් වෙළඳපොළේ ද්‍රවශීලතාවය ස්ථාවර මට්ටමක පවතින බැවින් වොන් අගය ගැන පමණක් අනවශ්‍ය ලෙස බිය විය යුතු නැති බව ද ඔහු පෙන්වා දෙයි.
මධ්‍ය පෙරදිග ගැටුම් නිසා ඇති වී තිබෙන උද්ධමන පීඩනය ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නා බව ෂින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දකුණු කොරියාවේ අර්ධ සන්නායක (Semiconductor) අපනයනය ශක්තිමත්ව පැවතීම සහ රජයේ අතිරේක අයවැය ප්‍රතිපාදන හේතුවෙන් එරට ආර්ථික වර්ධනයට එල්ල වී ඇති පීඩනය යම් මට්ටමකට සමනය වී ඇති බව ද වාර්තා වේ.














