දකුණු පළාතේ පොලිස් ස්ථාන 10ක ස්ථානාධිපතිවරුන් සඳහා ඉදිකළ නව නිල නිවාස විවෘත කිරීමේ උත්සවයක් ඊයේ (අප්‍රේල් 12) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මෙම නිල නිවාස ජනතා අයිතියට පත් කෙරුණු අතර පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය නංවාලීම සහ සේවය වඩාත් කාර්යක්ෂම කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත.
මෙහිදී මාතර දිස්ත්‍රික්කයේ අහංගම, කොටවිල සහ දික්වැල්ල යන පොලිස් ස්ථාන සඳහාත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස්මංහන්දිය, අහුංගල්ල, හික්කඩුව සහ අක්මීමන යන පොලිස් ස්ථාන සඳහාත් නව නිල නිවාස විවෘත විය. මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස, මත්තල සහ කිරින්ද යන පොලිස් ස්ථාන ද මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය විය. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම උත්සවය මගින් පොලිස් සේවයේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය දක්වන උනන්දුව මැනවින් පිළිබිඹු විය.














