ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ වසර 125ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට හමුදාපති ධුරය සඳහා කාන්තාවක් පත් කිරීමට එරට රජය අද (අප්‍රේල් 13) තීරණය කර තිබේ. ඒ අනුව දැනට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසෑන් කොයිල් (Susan Coyle) එළඹෙන ජූලි මාසයේදී නව හමුදාපතිවරිය ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට්ගෙන් පසුව මෙම ධුරයට පත්වන සුසෑන් කොයිල්, ඕස්ට්‍රේලියානු හමුදා ශාඛාවක නායකත්වය දරන පළමු කාන්තාව ද වනු ඇත. 1987 වසරේදී හමුදා සේවයට එක් වූ 55 හැවිරිදි ඇය, සිය සේවා කාලය තුළ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරිනියක ලෙස සුවිශේෂී භූමිකාවන් රැසක් ඉටු කර තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් පෙන්වා දෙන්නේ මෙය එරට ආරක්ෂක අංශවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ලබා දෙන වැදගත් පණිවිඩයක් බවයි.
ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ තුළ ලිංගික හිංසනයන් සහ වෙනස්කම් කිරීම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති පසුබිමක, කාන්තාවකට මෙවැනි ඉහළම තනතුරක් පිරිනැමීම හමුදාවේ ප්‍රතිරූපය නැංවීමට මෙන්ම සේවයේ නියුතු අනෙකුත් කාන්තාවන් දිරිමත් කිරීමට ද හේතු වනු ඇතැයි විශ්වාස කෙරේ.














