ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෙරේදා (අප්‍රේල් 11) රාත්‍රී කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, දේශීය ජල තීරය තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු නාවික විධානය මඟින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී, මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර ඉන් එක් යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් මෙම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කන්කසන්තුරෙයි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සහ දේශීය ධීවරයින්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබයි.














