මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි, රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් අධිබලැති යතුරුපැදි පහක් නීතිවිරෝධී ලෙස එකලස් කරමින් සිටි ගරාජ් හිමියෙකු පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලිස් ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතාට ලද තොරතුරකට අනුව ඊයේ (අප්‍රේල් 12) සවස මෙම වැටලීම සිදු කර ඇත.
පිළියන්දල විකල්ප මාර්ගයේ පිහිටි ගරාජයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී සොයාගත් එක් යතුරුපැදියක වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 65ක් පමණ වන බව පොලීසිය පවසයි. සැකකාර ගරාජ් හිමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ලබාදුන් කොටස් යොදාගෙන තමා මෙම යතුරුපැදි එකලස් කළ බවයි.
මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














