ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් විය. මෙම ජයග්‍රහණයේ වීරවරිය වූයේ අම්පාර උහනින් කණ්ඩායමට එක් වූ ප්‍රමුදි මෙත්සරා ය.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 91ක් පමණි. පන්දු යැවීමේදී ලිමන්සා තිලකරත්න ලකුණු 26කට කඩුලු 3ක් ද, නායිකා චමුදි ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු 2ක් ද දවාගත්හ. ප්‍රමුදි මෙත්සරා ද පන්දුවාර 3ක් තුළ ලකුණු 9ක් පමණක් ලබා දෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව පාලනය කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62කට කඩුලු 6ක් දැවී යම් පසුබෑමකට ලක්ව සිටියදී 8 වන පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි ප්‍රමුදි මෙත්සරා, පන්දු 17කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියාය. ඇය සමඟින් හත්වන කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් පැවැත්වූ ශෂිනි ගිම්හානි නොදැවී ලකුණු 7ක් ලබා ගනිමින් ජයග්‍රහණයට අනගි සහයක් ලබා දුන්නාය.













