2024 වසරේ බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් (Southport) හිදී ටේලර් ස්විෆ්ට් තේමාවෙන් යුත් නර්තන උත්සවයක් අතරතුර සිදුවූ බාලිකාවන් තිදෙනෙකුගේ ඝාතනය වළක්වා ගත හැකිව තිබූ බව ඒ පිළිබඳ විමර්ශනය කළ නිල කොමිසම අද (අප්‍රේල් 13) ප්‍රකාශ කළේය. රජයේ ආයතන සහ ඝාතකයාගේ දෙමාපියන් ඔහුගේ අවදානම් සහගත හැසිරීම් හඳුනා ගැනීමට සහ ඒ අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වීම මෙම ඛේදවාචකයට හේතු වූ “මූලික අසාර්ථකත්වයක්” බව එම වාර්තාවේ සඳහන් වේ.
එවකට 17 හැවිරිදි වියේ පසුවූ ඇක්සෙල් රුඩකුබානා (Axel Rudakubana) විසින් සිදුකළ මෙම පිහි ඇනුමෙන් හය හැවිරිදි බීබී කිං, හත් හැවිරිදි එල්සි ඩොට් ස්ටැන්කොම්බ් සහ නව හැවිරිදි ඇලිස් දසිල්වා අගුයියා යන දැරියන් ජීවිතක්ෂයට පත්වූහ. පරීක්ෂණයේ සභාපති ඒඩ්‍රියන් ෆුල්ෆෝර්ඩ් (Adrian Fulford) පෙන්වා දෙන්නේ පොලීසිය, රැඩිකල්වාදය වැළැක්වීමේ අංශ (Prevent) සහ සමාජ සේවා ආයතන විසින් ඝාතකයා සම්බන්ධයෙන් ලැබී තිබූ අනතුරු ඇඟවීමේ සංඥා නොසලකා හැර ඇති බවයි. ඝාතකයාට දැනටමත් වසර 52 ක අවම සිර දඬුවමක් නියම වී තිබේ.














