නයිජීරියාවේ ඊසානදිග චැඩ් දේශසීමාව අසල පිහිටි හමුදා කඳවුරකට ඉරිදා (අප්‍රේල් 12) පස්වරුවේ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් එම කඳවුරේ අණදෙන නිලධාරියා සහ තවත් සෙබළුන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.
බොකෝ හරාම් (Boko Haram) සහ ISWAP සටන්කාමීන් විසින් මෝටර් සයිකල්වලින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, මියගිය සෙබළුන් අතර විශ්‍රාම ගැනීමට සති කිහිපයක් පමණක් තිබූ අණදෙන නිලධාරියෙකු ද සිටින බව වාර්තා වේ. සටන්කාමීන්ගේ බෝම්බ ප්‍රහාරයකට හමුදා රථයක් හසුවීමෙන් මෙම මරණ සිදුව ඇති අතර, හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සටන්කාමීන් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. බෝර්නෝ ප්‍රාන්තයේ හමුදා මුරපොළවල් ඉලක්ක කරගනිමින් මෑතකාලීනව එල්ල වන ප්‍රහාර මාලාව හේතුවෙන් නයිජීරියානු රජය දැඩි පීඩනයකට ලක්ව සිටී.













