උතුරු කොරියාව සිය ‘චෝ හ්යොන්’ (Choe Hyon) වර්ගයේ විනාශක නෞකාවක මෙහෙයුම් කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමේ අරමුණින් උපායමාර්ගික ක්‍රූස් මිසයිල සහ නෞකා නාශක මිසයිල පරීක්ෂණයක් පසුගිය ඉරිදා (අප්‍රේල් 12) සිදු කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වන KCNA අද (අප්‍රේල් 14) වාර්තා කළේය. එරට නායක කිම් ජොන් උන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ පවත්වා ඇත.
එහිදී උපායමාර්ගික ක්‍රූස් මිසයිල දෙකක් සහ නෞකා නාශක මිසයිල තුනක් එරට බටහිර මුහුදු තීරයේ ඉලක්ක වෙත සාර්ථකව එල්ල කර ඇති අතර, එම මිසයිල ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව ඉලක්ක ජයගත් බව වාර්තා වේ. මීට අමතරව, දැනට ඉදිකිරීම් මට්ටමේ පවතින තවත් විනාශක නෞකා දෙකක අවි පද්ධති සැලසුම් පිළිබඳව ද නායක කිම් ජොන් උන් මෙහිදී දැනුවත් කර තිබේ.
රටේ න්‍යෂ්ටික යුද වැළැක්වීමේ ශක්තිය (Nuclear deterrent) තවදුරටත් වර්ධනය කිරීම සිය ප්‍රමුඛතම කාර්යය බවත්, ඕනෑම අවස්ථාවක කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ සූදානම ඉහළ නැංවිය යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. ලෝක අවධානය වෙනත් කලාපීය යුද ගැටුම් වෙත යොමුව ඇති අවස්ථාවක උතුරු කොරියාව සිය අවි බලය වර්ධනය කර ගැනීමට මෙලෙස පියවර ගනිමින් සිටින බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.














