ගානා ප්‍රිමියර් ලීග් පාපන්දු තරඟාවලියේ බෙරෙකම් චෙල්සි (Berekum Chelsea) කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන ඩොමිනික් ෆ්‍රිම්පොන්ග් (Dominic Frimpong), ඔවුන්ගේ කණ්ඩායම් බස් රථයට එල්ල වූ සන්නද්ධ මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් මියගොස් ඇති බව ගානා පාපන්දු සම්මේලනය (GFA) තහවුරු කරයි.
සැම්රෙබෝයි හි පැවැති සමර්ටෙක්ස් කණ්ඩායමට එරෙහි තරඟයකින් පසු කණ්ඩායම ආපසු පැමිණෙමින් සිටියදී ගෝසෝ සහ බිබියානි අතර ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. සන්නද්ධ කල්ලියක් විසින් බස් රථය වටකර මංකොල්ලකෑමට උත්සාහ කර ඇති අතර එහිදී සිදු වූ වෙඩි තැබීම්වලින් බෙරෙකම් චෙල්සි කණ්ඩායමේ දක්ෂ පර්ශ්වික ක්‍රීඩකයෙකු (Winger) වූ ෆ්‍රිම්පොන්ග් මාරාන්තික තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් ගානා පාපන්දු ක්ෂේත්‍රයම දැඩි කම්පනයට පත්ව ඇති අතර, ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එරට බලධාරීන්ට දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ගානා පාපන්දු සම්මේලනය සහ අදාළ ක්‍රීඩා සමාජය ෆ්‍රිම්පොන්ග්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය පළ කර ඇති අතර පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.














