ලිවර්පූල් කණ්ඩායමේ සුපිරි ආරක්ෂක ක්‍රීඩක ඇන්ඩි රොබර්ට්සන් (Andy Robertson) එළඹෙන ගිම්හාන සෘතුවේදී ‘නිදහස් ක්‍රීඩකයෙකු’ (Free Agent) ලෙස ටොටන්හැම් හොට්ස්පර් (Tottenham Hotspur) කණ්ඩායමට එක්වීම සඳහා වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. වසර නවයක සාර්ථක කාලයකින් පසු සිය ගිවිසුම අවසන් කර ලිවර්පූල් කණ්ඩායමෙන් සමුගන්නා බව 32 හැවිරිදි රොබර්ට්සන් පසුගිය සතියේ නිල වශයෙන් තහවුරු කළේය.
ස්කොට්ලන්ත ජාතික කණ්ඩායමේ නායකයා ද වන රොබර්ට්සන් කෙරෙහි ටොටන්හැම් පිල කලක සිට දැඩි උනන්දුවක් දැක්වූ අතර, පසුගිය ජනවාරි මාසයේදී ද ඔහුව කණ්ඩායමට බඳවා ගැනීමට උත්සාහ කළද ලිවර්පූල් බලධාරීන් ඊට එකඟ නොවීය. කෙසේ වෙතත්, මෙම නව ගනුදෙනුව සාර්ථක වීමට නම් ටොටන්හැම් පිලට ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිය ස්ථානය රැක ගැනීමට (Relegation අවදානමෙන් මිදීමට) අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
මේ වන විට ලකුණු සටහනේ 18 වන ස්ථානයේ පසුවන ටොටන්හැම් පිලට රොබර්ට්සන් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු එක්වීම ආරක්ෂක පෙළ ශක්තිමත් කිරීමට ඉමහත් පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කෙරේ. ලිවර්පූල් කණ්ඩායම සමඟ ප්‍රිමියර් ලීග් ශූරතා දෙකක් සහ චැම්පියන්ස් ලීග් කුසලානය දිනා ඇති රොබර්ට්සන්ගේ මෙම සංක්‍රාන්තිය ඉදිරි සති කිහිපය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














