නිව්යෝර්ක් නුවර පිහිටි ස්ටෝන්වෝල් ජාතික ස්මාරක පරිශ්‍රයෙන් ඉවත් කරන ලද දේදුනු වර්ණ සහිත ප්‍රයිඩ් ධජය (Pride flag) යළි ස්ථාපිත කිරීමට ට්‍රම්ප් පරිපාලනය එකඟ වී තිබේ. නූතන සමලිංගික අයිතිවාසිකම් ව්‍යාපාරයේ උපත ලෙස සැලකෙන මෙම ස්ථානයෙන් මීට මාස දෙකකට පෙර ෆෙඩරල් බලධාරීන් විසින් මෙම ධජය ඉවත් කර තිබුණේ එය රජයේ නිල මතය නිරූපණය නොකරන බව පවසමිනි.
ධජය ඉවත් කිරීමට එරෙහිව නිව්යෝර්ක් වැසියන් පිරිසක් විසින් පවරන ලද නඩුවකට අදාළව එළඹි එකඟතාවය අනුව, ජාතික උද්‍යාන සේවය (National Park Service) විසින් ඇමෙරිකානු ජාතික ධජය සමඟින් මෙම ප්‍රයිඩ් ධජය ද අදාළ පරිශ්‍රයේ එසවීමට එකඟත්වය පළ කර ඇත. මෙය විවිධත්වය සහ සමානතාවය පිළිබඳ ප්‍රතිපත්ති ෆෙඩරල් රජයෙන් ඉවත් කිරීමට දැඩි ලෙස වෙහෙසෙන ට්‍රම්ප් පරිපාලනය ලැබූ දුර්ලභ පසුබෑමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
පසුගිය පෙබරවාරි මාසයේදී කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙම ධජය ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට LGBTQ+ ප්‍රජාව අතර දැඩි විරෝධයක් මතු වී තිබුණි. මෙම නව අධිකරණ තීන්දුවත් සමඟ මෑන්හැටන් හි පිහිටි මෙම ඓතිහාසික ස්ථානයට එහි සංකේතාත්මක වටිනාකම යළි හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














