හංගේරියාවේ අභිනවයෙන් පත්වූ අග්‍රාමාත්‍ය පීටර් මාග්යර් (Péter Magyar) විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව ඒකාධිපති පාලකයන්ගේ “ගෝඩ් ෆාදර්” (Godfather) ලෙස හැඳින්වීම සහ සර්බියාවේ දේශපාලනය පුටින් විසින් මෙහෙයවන බවට කළ ප්‍රකාශයත් සමඟ සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් (Aleksandar Vučić) ඔහු සමඟ දැඩි ලෙස ගැටී තිබේ. මාග්යර්ගේ මෙම ප්‍රකාශ “මෝඩ සහ අනුවණ” ප්‍රකාශ ලෙස හඳුන්වමින් වුසික් ඒවා ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය ඉරිදා පැවති මැතිවරණයෙන් පීටර් මාග්යර්ගේ තිසා (Tisza) පක්ෂය අතිවිශාල ජයග්‍රහණයක් ලබාගත් අතර, එමඟින් හංගේරියාවේ වසර 16ක වික්ටර් ඕර්බන්ගේ (Viktor Orbán) පාලනය අවසන් විය. ඕර්බන්, වුසික් සහ ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ (Robert Fico) අතර පැවති සමීප දේශපාලන සබඳතාව පිටුපස රුසියානු මැදිහත්වීමක් ඇති බවට මාග්යර් කළ චෝදනාව මෙම උණුසුම් තත්ත්වයට හේතු වී තිබේ.
සර්බියානු රාජ්‍ය රූපවාහිනිය වෙත අදහස් දක්වමින් වුසික් සඳහන් කළේ හංගේරියාවේ නව නායකත්වය සහ සර්බියාව අතර ඇති වූ මෙම පළමු රාජ්‍ය තාන්ත්‍රික ගැටුම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි. ඕර්බන් රජය සහ සර්බියාව අතර පවතින සැබෑ සබඳතාවය කුමක්දැයි තමන් මැනවින් දන්නා බවට මාග්යර් කළ ප්‍රකාශය සර්බියාවේ ස්වෛරීභාවයට එල්ල කළ අභියෝගයක් ලෙස වුසික් පාර්ශවය සලකයි.














