ඉරානය සතු සාරවත් කරන ලද යුරේනියම් තමන් සන්තකයට ලබා ගැනීමට සූදානම් බව රුසියාව යළිත් වරක් ප්‍රකාශ කර තිබේ. ඉරානය සහ එක්සත් ජනපදය අතර වර්තමානයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය සමනය කරමින් සාමකාමී එකඟතාවයකට මග පාදා ගැනීම මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ බව ක්‍රෙම්ලිනය සඳහන් කරයි.
රුසියානු රජයට අයත් ‘RIA Novosti’ පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා සිටියේ, මෙම යෝජනාව තවමත් විවෘතව පවතින නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රායෝගික පියවරක් ගෙන නොමැති බවයි. මැදපෙරදිග කලාපීය අර්බුදය සමනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට රුසියාව සූදානම් බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. මේ අතර, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ද ප්‍රකාශ කර ඇත්තේ කලාපය තුළ යුද්ධය යළි ආරම්භ නොකළ යුතු බවයි.














