ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය කණ්ඩායමට එරෙහිව පවරා ඇති නව නඩු විභාගය අද (14) ආරම්භ වීමට නියමිතය. මීට පෙර පැවති නඩු විභාගය විනිසුරුවරියකගේ විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් අත්හිටුවීමට සිදුවූ අතර, මෙය එහි දෙවන වටයේ නඩු විභාගයයි.
2020 නොවැම්බර් 25 වන දින වයස අවුරුදු 60 දී මැරඩෝනා අභාවප්‍රාප්ත වූයේ මොළයේ සැත්කමකින් පසු සුවය ලබමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකිනි. ඔහුගේ මරණයට වෛද්‍ය කණ්ඩායමේ නොසලකා හැරීම සහ සාපරාධී නොසැලකිල්ල හේතු වූ බවට චෝදනා කරමින් ස්නායු ශල්‍ය වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලූක් සහ මනෝ වෛද්‍ය අගුස්ටිනා කොසචොව් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
බුවනෝස් අයර්ස් නුවරට ආසන්න සැන් ඉසිඩ්‍රෝ අධිකරණයේදී පැවැත්වෙන මෙම නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 100 කට ආසන්න පිරිසක් කැඳවීමට නියමිතය. මැරඩෝනාගේ පවුලේ සාමාජිකයන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඔහුට අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන් බවත්, ඔහු සිටි නිවස “භීෂණ රඟහලක්” (Theatre of horror) බඳු වූ බවත්ය. කෙසේ වෙතත්, මැරඩෝනා කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර වලට ඇබ්බැහි වීම නිසා ඔහුගේ මරණය වළක්වා ගත නොහැකි එකක් වූ බව විත්ති පාර්ශ්වයේ නීතිඥයන් තර්ක කරති.
මෙම වෛද්‍ය කණ්ඩායමට එරෙහි චෝදනා ඔප්පු වුවහොත්, ඔවුන්ට වසර 8 සිට 25 දක්වා වූ සිරදඬුවම් නියම වීමට ඉඩ පවතී. ලොවක් ආදරය කළ මෙම පාපන්දු වීරයාගේ මරණය පිළිබඳ සත්‍යය දැන ගැනීමට මුළු මහත් පාපන්දු ලෝකයම අවධානයෙන් පසුවෙයි.














