ඉරාක කුර්දිස්ථානයේ සුලෙයිමේනියා (Sulaimaniyah) ප්‍රදේශයේ පිහිටි සූර්දාෂ් (Surdash) කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයකින්, ඉරාන-කුර්දි සටන්කාමී කණ්ඩායමක් වන ‘කොමලා’ (Komala) සංවිධානයේ සාමාජිකාවක වන ගසල් මවුලායි (Ghazal Mawlayi) ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉරාකය තුළ ක්‍රියාත්මක වන කුර්දි විරුද්ධ පක්ෂ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ඉරානය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර මාලාවක තවත් එක් පියවරක් ලෙස මෙය සැලකේ.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමත් සමඟ මැදපෙරදිග සාමය පිළිබඳ යම් බලාපොරොත්තුවක් මතුව තිබුණ ද, කලාපීය කුර්දි සටන්කාමීන්ගේ භූමිකාව තවමත් දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉරානය, තුර්කිය සහ සිරියාව වැනි රටවල සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින කුර්දි හමුදා, කලාපීය බලවතුන්ගේ කිසිදු තර්ජනයක් හමුවේ සිය සටන අත්නොහරින බව මෙම පුවතින් යළිත් තහවුරු වේ.
ඉරාක දේශසීමාව තුළ සිටින කුර්දි සන්නද්ධ කණ්ඩායම් තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසන ඉරානය, පසුගිය සති කිහිපය පුරාම මෙම කලාපයට දැඩි ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබීය. ලෝක අවධානය ඇමෙරිකා-ඉරාන නාවික අවහිරතාවය සහ ඊශ්‍රායල-ලෙබනන සාම සාකච්ඡා වෙත යොමුව පවතින පසුබිමක, කුර්දි ජනතාව මුහුණ දෙන මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයේ පවතින තවත් එක් නොවිසඳුණු අර්බුදයක් ලෙස ඉතිරිව පවතී.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal (x) ඇසුරින්















