රුසියාවට සම්බන්ධ හැකර් කණ්ඩායමක් විසින් පසුගිය මාස කිහිපය තුළ යුක්රේන රජයේ නඩු පවරන්නන් සහ විමර්ශකයින් 170කට අධික පිරිසකගේ විද්‍යුත් තැපැල් (Email) ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම සයිබර් ඔත්තු බැලීමේ මෙහෙයුම හරහා යුක්රේනයේ දූෂණ මර්දන කටයුතු සහ රුසියානු හිතවාදීන් හඳුනාගැනීමේ කටයුතුවල නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමට රුසියාව උත්සාහ කර ඇති බව අනාවරණය වේ.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ හැකර්වරුන් විසින් අත්වැරදීමකින් අන්තර්ජාලයට නිරාවරණය කරන ලද දත්ත පද්ධතියක් පරීක්ෂා කළ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සයිබර් තර්ජන පර්යේෂකයින් පිරිසක් (Ctrl-Alt-Intel) මඟිනි. එම දත්තවලට අනුව 2024 සැප්තැම්බර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ අවම වශයෙන් විද්‍යුත් තැපැල් ගිණුම් 284ක් හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇත. යුක්රේනයට අමතරව රුමේනියාව, ග්‍රීසිය, බල්ගේරියාව සහ සර්බියාව යන රටවල හමුදා සහ රජයේ නිලධාරීන්ගේ ගිණුම් ද මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ. මොස්කව් පාලනය විසින් දියත් කරනු ලබන දැවැන්ත සයිබර් ඔත්තු බැලීමේ මෙහෙයුම්වලින් මෙය එක් අංශයක් පමණක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.














