2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙන කාලය තුළ ඇමෙරිකාව පුරා ක්‍රියාත්මක වන සංක්‍රමණික සහ රේගු බලාත්මක කිරීමේ (ICE) වැටලීම් තාවකාලිකව අත්හිටුවන ලෙස (Moratorium) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටීමට ෆිෆා ප්‍රධානී ජියානි ඉන්ෆැන්ටිනෝ සූදානම් වන බව වාර්තා වේ. ‘The Athletic’ පුවත්පතට අනුව, ලෝක කුසලානය නැරඹීමට පැමිණෙන ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට සහ ඇමෙරිකාව තුළ වෙසෙන සංක්‍රමණික ප්‍රජාවට මෙලෙස එල්ල විය හැකි බලපෑම් අවම කිරීම සඳහා ෆිෆා විධායක නිලධාරීන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙවර ලෝක කුසලානය ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනෙහි සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එය ලබන ජූනි 11 වනදා ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන සමූහ පිටුවහල් කිරීමේ (Mass deportation) වැඩපිළිවෙළ සහ දැඩි සංක්‍රමණික නීති හේතුවෙන් තරඟාවලිය නැරඹීමට පැමිණෙන විදේශිකයන් ද ඉලක්ක විය හැකි බවට මානව හිමිකම් සංවිධාන මඟින් බියක් පළ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධවල මන්දිර ප්‍රකාශක ඩේවිස් ඉන්ගල්, ෆිෆා සමඟ පවතින සාකච්ඡා පිළිබඳව සෘජු ප්‍රකාශයක් සිදු නොකළ නමුත්, ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ 2026 ලෝක කුසලානය “මනුෂ්‍ය ඉතිහාසයේ දැවැන්තම සහ දර්ශනීයම ක්‍රීඩා උළෙලක්” වනු ඇති බව අවධාරණය කළේය.














