ඉරානය සමඟ දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමා අදහස් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ABC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සටන් විරාමය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි තමා විශ්වාස නොකරන නමුත්, ඉදිරි දින දෙක තුළ සාම සාකච්ඡා සම්බන්ධයෙන් “පුදුමාකාර සිදුවීම්” කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි. බටහිර ආසියාවේ පවතින මෙම ගැටුම අවසන් කිරීම සඳහා යුධමය මාර්ගයට වඩා රාජ්‍ය තාන්ත්‍රික මාවතකට තමා කැමති බව ද ජනාධිපතිවරයා මෙහිදී ඉඟි කර ඇත.
තම නායකත්වය පිළිබඳව දැඩි විශ්වාසයකින් අදහස් දැක්වූ ට්‍රම්ප්, “මම ජනාධිපති නොවන්නට ලෝකය කෑලිවලට ඉරී යනු ඇත” යනුවෙන් ද ප්‍රකාශ කළේය. මේ අතර ‘New York Post’ පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ දෙරට අතර සෘජු සාකච්ඡා දැනටමත් සිදුවෙමින් පවතින නමුත් ඒවා ඉතා මන්දගාමී බවයි. සති හතක් පුරා ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා වන දෙවන වටයේ සාකච්ඡා යුරෝපයේ හෝ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් යෝජනා කර තිබේ.














