ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ සංචාරක නිවාස සංකීර්ණයක නැවතී සිටි කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලකට අයත් රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා දේපළ සහ මුදල් සොරාගැනීමේ පුවතක් වාර්තා වේ. මෙම පිරිස සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි අතරතුර, ඔවුන් නතර වී සිටි සිව්වන මහලේ පිහිටි කාමරයේ ජනෙල් මගින් ඇතුළු වූ පිරිසක් මෙම සොරකම සිදු කර තිබේ.
සොරකම සිදුවන අවස්ථාවේදී ඔවුන් සිය වටිනා භාණ්ඩ එක් කාමරයක තබා එහි යතුරු ආරක්ෂක අංශ වෙත භාර දී තිබූ නමුත්, පසුදින පැමිණීමේදී ජනෙල් විවෘත කර තිබූ බවත් ගමන් මලු අවුස්සා තිබූ බවත් නිරීක්ෂණය කර ඇත. මෙහිදී ටැබ් පරිගණක දෙකක්, කැනේඩියානු ඩොලර් 900ක් සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ ගණනාවක මුදලක් අස්ථානගත වී ඇති බවට පියා විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. අදාළ ගොඩනැගිල්ල පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා බැඳ තිබූ පලංචි ඔස්සේ සොරුන් කාමරයට ඇතුළු වන්නට ඇති බවට සැක කෙරෙන අතර ගාල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.














