වැල්ලවාය පොලිස් වසමට අයත් නෙටොලගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් එල්ල කළ පහරදීමකින් 32 හැවිරිදි තරුණ කාන්තාවක ඊයේ (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා විසින් මෙම පහරදීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහරදීම සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද, ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. මියගොස් ඇත්තේ නෙටොලගම ප්‍රදේශයේම පදිංචිව සිටි තැනැත්තියකි.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














