අපරාධ මැඩලීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය ඉලක්ක කර ගනිමින් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී ඊයේ (14) දිනයේ පමණක් පුද්ගලයන් 22,195 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ. ඉන් පුද්ගලයන් 296 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 07 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 43 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 26 දෙනෙකු ද වන බව වාර්තා වේ.
මීට අමතරව, උත්සව සමයේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 104 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,451 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.














