ලොව ධනවත්ම පුද්ගලයන් අතර ප්‍රමුඛයෙකු වන ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරික අමාන්සියෝ ඔර්ටේගා (Amancio Ortega), ලොව විශාලතම දේපළ හිමිකරු බවට පත්වෙමින් සිය වෘත්තීය ජීවිතයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. සාරා (Zara), Pull&Bear සහ Oysho වැනි සුප්‍රකට සන්නාමයන්හි හිමිකාරීත්වය දරන ‘Inditex’ සමාගමේ නිර්මාතෘවරයා වන ඔහු, රෙදිපිළි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් ඉහළ වටිනාකමකින් යුත් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය වෙත සිය ආයෝජන ව්‍යාප්ත කර ඇත.
නව වාර්තාවලට අනුව, ඔර්ටේගා සතු දේපළ කළඹ (Property Portfolio) විවිධ රටවල විසිරී ඇති මිලදී ගැනීම් 200කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 25ක් (යුරෝ බිලියන 21.2ක්) පමණ වේ. ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව ඔහුගේ සමස්ත ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 148ක් (යුරෝ බිලියන 125.45ක්) වන අතර, ඔහු මේ වන විට ලොව 10 වැනි ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණිගත කර ඇත.













