ඇමෙරිකානු හමුදා මැදිහත් වීමෙන් වෙනිසියුලාවේ පාලනය වෙනස් වීමත් සමඟ, කියුබාවට එරෙහි තෙල් සම්බාධක දැඩි කිරීම හේතුවෙන් එරට ඉතිහාසයේ දරුණුතම බලශක්ති අර්බුදයට මුහුණ දී සිටී. විශේෂයෙන්ම වෙනිසියුලාවෙන් ලැබුණු තෙල් සැපයුම නතර වීමත්, මෙක්සිකෝව වැනි රටවලට ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් නිසාත් කියුබාවේ පොදු ප්‍රවාහනය සහ විදුලි බල පද්ධතිය මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය වී ඇත.
හවානා නුවර ජනතාවට තම එදිනෙදා ගමන් බිමන් සඳහා ඇති එකම සහනය වී ඇත්තේ 90 දශකයේ පැවති “විශේෂිත යුගය” සිහිගන්වන “සික්ලොබස්” (Ciclobús) බස් රථ සේවාවයි. හවානා බොක්ක යටින් දිවෙන උමඟ හරහා පාපැදි සහ ස්කූටර් ප්‍රවාහනය කිරීමට ඇති එකම මාධ්‍යය මෙය වන අතර, පෞද්ගලික කුලී රථ සඳහා වැයවන අධික පිරිවැය දරාගත නොහැකි සාමාන්‍ය වැසියන්ට මෙය ජීවනාලියක් බඳුය.
පවතින දැඩි ඉන්ධන සලාක ක්‍රමය හේතුවෙන් වාහනයකට මසකට ලැබෙන්නේ ඉන්ධන ලීටර 20ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. මෙම තත්ත්වය හමුවේ රෝහල් කටයුතු සහ නගරයේ පිරිසිදු කිරීමේ සේවා පවා අඩාල වී ඇති අතර, කියුබානු රජය ඇමෙරිකාව සමඟ යම් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.














