සෝමාලිලන්තය (Somaliland) ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන මාස හතරකට පසු, එරට සඳහා සිය ප්‍රථම තානාපතිවරයා ලෙස මයිකල් ලොටෙම් (Michael Lotem) පත් කිරීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබේ. සෝමාලිලන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු සාමාජික රට වන්නේ ද ඊශ්‍රායලයයි.
පසුගිය පෙබරවාරි මාසයේදී සෝමාලිලන්තය විසින් සිය තානාපතිවරයා ලෙස ආචාර්ය මොහොමඩ් හාජි (Dr. Mohamed Haji) ඊශ්‍රායලය වෙත එවන ලද අතර, මයිකල් ලොටෙම්ගේ මෙම පත්වීමත් සමඟ දෙරට අතර පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී ඇත. අප්‍රිකානු අං කලාපයේ (Horn of Africa) උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති සෝමාලිලන්තය සමඟ සබඳතා පැවැත්වීම ඊශ්‍රායලයේ කලාපීය ආරක්ෂක සහ දේශපාලන උපායමාර්ගවලට ඉතා වැදගත් වේ.
විශේෂයෙන්ම රතු මුහුදේ ආරක්ෂාව සහ ඉරාන බලපෑම මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායලය අප්‍රිකානු කලාපයේ නව මිතුරන් සොයමින් සිටින පසුබිමක මෙම පත්වීම සිදුව ඇත. සෝමාලිලන්තය දශක කිහිපයක සිට තමන්ව ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින අතර, ඊශ්‍රායලයේ මෙම තීරණය අනෙකුත් බටහිර රටවලට ද පූර්වාදර්ශයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මයිකල් ලොටෙම් මීට පෙර කෙන්යාව ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක ඊශ්‍රායල තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.
තොරතුරු උපුටා ගැනීම: Rerum Novarum සහ mario nawfal(x) ඇසුරින්














