ජනාධිපති ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කරමින් පනවා ඇති නාවික මෙහෙයුම හේතුවෙන් ඉරාන ආර්ථිකය දැඩි අගාධයකට ඇද වැටෙමින් පවතින බව වාර්තා වේ. මෙම අවහිර කිරීම ආරම්භ වී ගත වූ පළමු දින 3 තුළ පමණක් ඉරානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක ආදායමක් අහිමි වී ඇති අතර, මෙය එරට ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමේ මූල්‍ය කඩාවැටීමකි.
ඉරානය සතුව මේ වන විට බොරතෙල් ගබඩා කර තබා ගැනීමට හැකි වන්නේ තවත් දින 13ත් 15ත් අතර කාලයක් පමණි. සිය තෙල් අපනයනය කිරීමට නොහැකි වීම නිසා ගබඩා පද්ධති පිරී ගිය පසු, ඉරානයට සිය තෙල් කැණීම් කටයුතු (Extraction) මුළුමනින්ම නතර කිරීමට සිදුවනු ඇත. මෙලෙස තෙල් ළිං වසා දැමීම නිසා නැවත ඒවායින් තෙල් ලබා ගැනීමේ හැකියාවට දිගුකාලීන තාක්ෂණික හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙම අවහිරය තවත් දින 30ක් පුරා අඛණ්ඩව පැවතුණහොත් ඉරානයට අහිමි වන මුළු මුදල ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ යනු ඇත. එවැනි තත්ත්වයක් තුළ සිය රාජ්‍ය සේවකයන්ට සහ හමුදාවට වැටුප් ගෙවීමට පවා ඉරාන රජයට මුදල් නොමැති වනු ඇතැයි අනුමාන කෙරේ. න්‍යෂ්ටික වැඩසටහන සහ හිස්බුල්ලා වැනි සංවිධානවලට අරමුදල් සැපයීම මේ හරහා මුළුමනින්ම අඩාල කිරීම ඇමෙරිකාවේ උපායමාර්ගය වී තිබේ.
මෙම ආර්ථික පීඩනය හමුවේ ඉරානය හෙට තෙහෙරානයේදී පාකිස්ථාන නියෝජිතයන් හමුවී ඇමෙරිකාව සමඟ හුවමාරු වන පණිවිඩ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. යුද්ධය සහ සම්බාධක හමුවේ ඉරාන රජය අභ්‍යන්තරයෙන්ම බිඳ වැටීමේ අවදානම දැන් වෙන කවරදාකටත් වඩා වැඩි වී පවතී.
තොරතුරු උපුටා ගැනීම: Bloomberg, Rystad Energy සහ fox news ඇසුරින්














