ඉරාන වරායන් වෙත නෞකා ගමන් කිරීම වැළැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති මුහුදු අවහිර කිරීම් (Blockade) නොතකා, ඇමෙරිකානු සම්බාධකවලට ලක්වූ දෙවන යෝධ තෙල් නැව ද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පර්සියානු බොක්ක වෙත ඇතුළු වී ඇති බව නෞකා ගමන් තොරතුරු දත්ත පෙන්වා දෙයි.
පසුගිය සති අන්තයේ ඉස්ලාමාබාද්හි පැවති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් ඉරිදා මෙම නාවික අවහිර කිරීම ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ‘RHN’ නමැති යෝධ තෙල් නැව බදාදා දිනයේදී මෙලෙස ඇතුළු වී ඇත්තේ මීට පෙර ‘Alicia’ නමැති නෞකාව ද එම මාර්ගයේම ගමන් කිරීමෙන් පසුවය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු මධ්‍යම අණසක (U.S. Central Command) සිය X ගිණුම හරහා ප්‍රකාශ කළේ සඳුදා සිට ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම යටතේ නෞකා 10ක් ආපසු හරවා යැවීමට තමන් සමත් වූ බවත්, කිසිදු නෞකාවකට සිය ආරක්ෂක වළලු බිඳගෙන යාමට ඉඩ ලබා නොදුන් බවත්ය. ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය නාවික ගමනාගමනය දැඩි අර්බුදයකට ලක්ව ඇති මොහොතක මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ.














