රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීමේ චෝදනාව මත මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක හිටපු බස්නායක නිලමේවරයෙකු මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 72 හැවිරිදි වියේ පසුවන්නෙකි.
පොලිස් විමර්ශන මඟින් අනාවරණය වී ඇත්තේ මෙම හිටපු බස්නායක නිලමේවරයා සහ ඔහුගේ පුතා එක්ව ව්‍යාපාරික කටයුතු සඳහා යැයි පවසමින් පුද්ගලයින් රැසකගෙන් රුපියල් කෝටි 18ක පමණ මුදලක් ලබාගෙන ඇති බවයි. අදාළ මුදල් ලබාගැනීමේදී පියාගේ නමින් ඇති චෙක්පත් පුතා විසින් ලබාදී ඇති බවට ද තොරතුරු හෙළිවී තිබේ.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු වන පුතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට විශේෂ පරීක්ෂණ පවත්වයි. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














