හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික අවහිරතාවය (Naval Blockade) තවදුරටත් දැඩි කරමින්, ඉරාන වරායන් බලා යාමට උත්සාහ කළ සහ එරටින් පිටත් වූ නෞකා අටක් ආපසු හරවා යැවීමට ඇමරිකානු නාවික හමුදාව පියවර ගෙන ඇත. ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) තහවුරු කරන පරිදි, මෙම නෞකා චීනය ඇතුළු ගමනාන්ත බලා යාමට නියමිතව තිබූ ඒවා වන අතර, නාවික අවහිරතාවය ආරම්භ වූ දා සිට මේ දක්වා කිසිදු නෞකාවකට එය උල්ලංඝනය කිරීමට ඉඩ ලබා දී නොමැත.
මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ඉහළ පෙළේ හමුදා අණදෙන නිලධාරීන් විසින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඇමරිකාව සිය නීතිවිරෝධී නාවික අවහිරතාවය දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නම්, පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ රතු මුහුද (Red Sea) යන මුහුදු මාර්ග සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා බව ඉරානය ප්‍රකාශ කළේය. මෙය දැනට පවතින සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත්, තම ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම ශක්තිය යොදවන බවත් ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රධානී අලි අබ්දුල්ලාහි අවධාරණය කර ඇත. මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනය අතිශය අවදානම් අඩියකට ඇද වැටී ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම:ndtv, nbc news ඇසුරින්














