අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයට අද (17) ආරාධනා කළේය. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ඊයේ (16) ජනාධිපති කාර්යාලයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
අලුත් අවුරුදු උදාව යනු ගෙවී ගිය වසරේ අඩුපාඩු මඟහරවා ගනිමින් නව ආකල්ප සමඟ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් බව එහිදී පෙන්වා දුන් ලේකම්වරයා, මෙතෙක් කාර්ය මණ්ඩලය ඉටු කළ සේවය අගය කළේය. රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලය පෙන්වන සාමූහිකත්වය සහ කැපවීම සමස්ත රාජ්‍ය සේවයටම ආදර්ශයක් විය යුතු බවත්, නව රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.














