ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය වෙළඳ මාර්ග වෙනස් වීම නිසා පැනමා ඇළ හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, පෝලිමේ ඉදිරියට ඒම සඳහා (Line-jumping) එල්පීජී (LPG) නෞකාවක් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක වාර්තාගත මුදලක් ගෙවා ඇති බවට පළවන වාර්තා පැනමා ඇළ අධිකාරිය ඊයේ (16) අවතක්සේරු කළේය. මෙය ඇළ අධිකාරිය විසින් නියම කරන ලද ගාස්තුවක් නොව, වෙළඳපොළේ පවතින තාවකාලික තත්ත්වයන් මත පදනම් වූ වෙන්දේසි ප්‍රතිඵලයක් බව ඔවුහු අවධාරණය කරති.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා සූවස් ඇළ වෙනුවට බොහෝ නෞකා පැනමා ඇළ භාවිත කිරීමට පෙළඹීම නිසා මෙම තදබදය නිර්මාණය වී තිබේ. හදිසි අවශ්‍යතාව මත ගමනාන්තය කරා යාමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් මෙලෙස වෙන්දේසි ක්‍රමය හරහා වැඩි මුදලක් ගෙවා සිය අවස්ථාව වෙන් කර ගන්නා බව අධිකාරිය පවසයි. 2026 වසරේ මුල් භාගය වන විට පැනමා ඇළ හරහා ගමන් කර ඇති නෞකා සංඛ්‍යාව පසුගිය වසරට වඩා 3.7% කින් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් දිනවල නෞකා 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇළ හරහා ගමන් කරන බව ද වාර්තා වේ.














