ඇමෙරිකානු බලශක්ති සැපයුම් ආයතනයක් වන නයිසෝස් (NiSource), ගූගල්හි මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet) සහ ඇමසන් (Amazon) සමඟ සිය දත්ත මධ්‍යස්ථාන බලගැන්වීම සඳහා දීර්ඝකාලීන බලශක්ති ගිවිසුම්වලට එළඹ ඇති බව ඊයේ (16) නිවේදනය කළේය. කෘතිම බුද්ධි (AI) යෙදුම්වල වර්ධනයත් සමඟ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් සිය දැවැන්ත දත්ත මධ්‍යස්ථාන සඳහා විශ්වාසදායී සහ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් සොයමින් සිටින පසුබිමක මෙම පියවර ගෙන තිබේ.
නයිසෝස් සමාගමේ “GenCo” ආකෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා උතුරු ඉන්ඩියානා ප්‍රදේශයේ පිහිටි ඇල්ෆබට් දත්ත මධ්‍යස්ථානයට අවශ්‍ය විදුලිය සැපයීම 2026 ගිම්හාන කාලයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ගිවිසුම්වල ඇති විශේෂත්වය වන්නේ මහා පරිමාණ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ආදායම හරහා සාමාන්‍ය නිවාස ඒකකවල විදුලි බිල අඩු කිරීමට පියවර ගැනීමයි. ඒ අනුව වසරකට එක් නිවසකට ඇමෙරිකානු ඩොලර් 90 සිට 115 දක්වා ඉතිරියක් ලබා දීමට අපේක්ෂිත අතර, ඇමසන් සමඟ පවතින ගිවිසුම මඟින් පමණක් පාරිභෝගිකයන්ට ඩොලර් බිලියන 1.25 ක පමණ වාසියක් හිමිවනු ඇත. දත්ත මධ්‍යස්ථාන හේතුවෙන් විදුලි පද්ධතියට ඇති විය හැකි පීඩනය පිළිබඳ ලොව පුරා විවාද පවතින මොහොතක, නයිසෝස් සමාගම මෙම සහනදායී ක්‍රමය හඳුන්වා දී ඇත.













