උතුරු කොරියාවේ මෙතෙක් නිල වශයෙන් තහවුරු නොකළ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිළිබඳව දකුණු කොරියානු අමාත්‍යවරයෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමෙරිකාව සිය අප්‍රසාදය පළ කළ බවට පළ වන වාර්තා දකුණු කොරියානු එක්සත් කිරීමේ අමාත්‍යාංශය (Unification Ministry) අද (17) ප්‍රතික්ෂේප කළේය. බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සීමා කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවට පළ වූ පුවත් පිළිබඳව ද තමන් දැනුවත් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කළේය.
දකුණු කොරියානු අමාත්‍ය චන්ග් ඩොන්ග්-යැං (Chung Dong-young) පසුගිය මාර්තු 6 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවකදී ප්‍රකාශ කර තිබුණේ, උතුරු කොරියාවේ කුසොන්ග් (Kusong) ප්‍රදේශයේ යුරේනියම් පිරිපහදු කරන මධ්‍යස්ථානයක් පවතින බවයි. මෙම රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය දැඩි නොසතුටට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් දකුණු කොරියාව සමඟ සිදුකරන බුද්ධි තොරතුරු හුවමාරුව අර්ධ වශයෙන් සීමා කරන බවට අමෙරිකාව දැනුම් දී ඇති බවත් ‘Dong-A Ilbo’ පුවත්පත වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත්, දකුණු කොරියානු රජය පවසන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පදනම් වූයේ ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා වැනි ප්‍රසිද්ධියේ ලබාගත හැකි තොරතුරු මත බවයි. මේ පිළිබඳව අමෙරිකානු තානාපති කාර්යාලය කළ විමසීමකට තමන් පැහැදිලි පිළිතුරක් ලබා දුන් බවත්, අමෙරිකානු පාර්ශවය එම පැහැදිලි කිරීම පිළිගත් බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.














