ඉතිහාසගත ආටෙමිස් II (Artemis II) මෙහෙයුම සාර්ථකව නිම කර පසුගිය සිකුරාදා පෘථිවියට පැමිණි ගගනගාමීන් සිව්දෙනා නාසා (NASA) ආයතනයේ පැවති සිය ප්‍රථම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබේ. රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන මෙම ගගනගාමීන් පවසන්නේ තමන් සඳ වටා ගිය මෙම දින නවයක සංචාරය ආරම්භ කළේ මිතුරන් ලෙස වුවද යළි පැමිණියේ ලෙයින් බැඳුණු සමීපතම හිතවතුන් ලෙස බවයි. ලෝකය බෙදී පවතින මොහොතක මෙම මෙහෙයුම මානව වර්ගයා කෙරෙහි නව බලාපොරොත්තුවක් සහ එක්සත්කමක් ඇති කිරීමට සමත් වූ බව ඔවුහු අවධාරණය කරති.
මෙම මෙහෙයුමේදී වික්ටර් ග්ලෝවර් ගැඹුරු අභ්‍යවකාශයට ගිය පළමු කළු ජාතිකයා ලෙසත්, ක්‍රිස්ටිනා කොක් පළමු කාන්තාව ලෙසත් සහ ජෙරමි හැන්සන් පළමු කැනේඩියානු ජාතිකයා ලෙසත් ඉතිහාසයට එක්විය. සඳෙහි ඈත පැත්තෙන් ගමන් කරමින් පෘථිවියෙන් මෙතෙක් මිනිසෙකු ගිය දුරම දුර ගමන් කළ ඔවුන්, අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙස බැලීමේදී දැනුණු අපූර්වත්වය සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව සංවේදීව අදහස් පළ කළහ. සඳ මත ගොඩබැසීම තවදුරටත් දුරස්ථ සිහිනයක් නොවන බවත් තමන්ට සඳ මත ගොඩබැසීමට අවශ්‍ය යානය (lander) තිබුණේ නම් එය ද සාර්ථකව නිම කිරීමට හැකියාව තිබූ බවත් ගගනගාමීන් මෙහිදී පවසා තිබේ.
අභ්‍යවකාශයේදී අත්විඳි බර රහිත බව නිසා පෘථිවියට පැමිණි පසු තවමත් තමන්ට සාමාන්‍ය ගුරුත්වාකර්ෂණයට හුරු වීම තරමක් අමුතු අත්දැකීමක් වී ඇති බව ඔවුහු සිනහවෙමින් පැවසූහ. විද්‍යාවෙන් ඔබ්බට ගිය අධ්‍යාත්මික හැඟීමක් සහ මනුෂ්‍ය වර්ගයාගේ යහපත්කම පිළිබඳව ඉහළ විශ්වාසයක් මෙම සංචාරයෙන් තමන් තුළ ඇති වූ බව ඔවුන්ගේ අදහසයි. ඔරියන් (Orion) අභ්‍යවකාශ යානය සහ ලෝක මට්ටමේ තාක්ෂණික දායකත්වය අගය කළ මෙම කණ්ඩායම, මෙය මුළු මහත් ලෝකයටම අයත් මෙහෙයුමක් බවත් ඒ සඳහා සහය දුන් සැමට ස්තූතිය පළ කරන බවත් සඳහන් කළහ.














