ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (සිකුරාදා) ස්ථාවර මට්ටමක පවතින අතර එය පිට පිට සිව්වන සතියටත් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ඇමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇති වීමේ බලාපොරොත්තු ඉහළ යාම මෙලෙස රන් මිල ස්ථාවර වීමට ප්‍රධාන හේතුව වී තිබේ. අද දිනයේදී රන් අවුන්සයක මිල ඩොලර් 4,789.67ක් ලෙස සටහන් වූ අතර එය සතියක් තුළ සමස්තයක් ලෙස 0.9%ක වර්ධනයකි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ලිහිල් වීමත් සමඟ උද්ධමනය ඉහළ යාමේ බිය පහව යාම ආයෝජකයින්ගේ අවධානය රන් වෙළෙඳපොළ දෙසට යොමු වීමට බලපා ඇත.
විශේෂයෙන්ම ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක් ක්‍රියාත්මක වීම සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එළඹෙන සති අන්තයේදී ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බවට කළ ප්‍රකාශය ලෝක වෙළෙඳපොළ කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කර තිබේ. මීට අමතරව අමෙරිකානු ඩොලරයේ අගය ද පසුගිය සති දෙක තුළ යම් පහත වැටීමක් පෙන්නුම් කිරීම රන් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට රුකුලක් වී ඇත. සාමය පිළිබඳ බලාපොරොත්තු සාර්ථක වුවහොත් ඉදිරි සතිවලදී ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි තවදුරටත් ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














